ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අනූ හය දෙනාම තමා සමග එකට හිට ගන්නේ නම් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
රත්නපුරයේදී ඊයේ (27) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන රැළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවත් වූ එම සම්පුර්ණ කතාව මෙසේය.
කාලයකට පසු රත්නපුර දිස්ත‍්‍රික්කයේ ආදරණීය ජනතාව සමග එකතු වෙලා අද දවසේ මෙන්ම හෙට දවසේ ද ඔබේ වගකීම් පිළිබද කරුණු කිහිපයක් පෙන්වා දෙන්න ලැබීම පිළිබද ව සතුටුවෙනවා. අද මේ වේදිකාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොවේ, අපි සමග සන්ධාන ගතවුණ සහෝදර දේශපාලන පක්ෂවල නායකයින්, නියෝජිතයින්, රාශියක් මේ ස්ථානයේ ඉන්නවා. මේ රටේ වාම ප‍්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කළ නායකයින් රැසක් සමගින් අප මේ සියලූ දෙනා එක්ව සිටින්නේ. අද මේ මැතිවරණ ව්‍යාපාරයේ දී කියන දේවල් තිබෙනවා. අපට කරන නොයෙකුත් අපහාස, උපහාස තිබෙනවා. සමහර අය වේදිකා වල අහනවා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා මොනවද කළේ කියලා. මම කළ දේ කියන්නම්. මම නොකළ දේත් කියන්නම්. දේශපාලනඥයෙක් කළයුතු දේ මෙන්ම නොකළයුතු දේත් තිබෙනවා. මම පසුගිය වසර තුනේදි කලින් තිබුණු තැනින් මේ රට බේරාගත්තා. එදා මේ රට අන්තර්ජාතික මොන තත්වයකට ද මුහුණ දීලා තිබුණේ කියලා සාමාන්‍ය ගමේ ජනතාවට දැනුනේ නැහැ. නමුත් දේශපාලන නායකයින් දැනගෙන හිටියා පත්වෙලා තිබුණ තත්වය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තිබෙනවා ලෝකයේ රටවල් 194 ක්. එයින් 2015 ජනවාරි මස වනවිට අපට හිතවත් රටවල් තිබුණේ කිහිපයයි. අපට චෝදනා පැමිණිලි බොහෝ ගණන් තිබුණා. මා මිත‍්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා වසර දෙකක් බලයේ ඉන්න තිබියදීත් මැතිවරණයකට ගියා. මම ලිඛිතව එතුමාව දැනුවත් කළා මැතිවරණයකට යන්න එපා. අපි පරාද වෙනවා කියලා. ඔබ දන්නවා වසර ගණනක් මම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාව සිටි බව. අද මේ පසුබිමත් සමග විශේෂයෙන් සදහන් කරන්න ඕන එදා ඇයි මැතිවරණයකට ගියේ. ලෝකය අප ගැන පිළිගැනීමක් තිබුනේ නැහැ. අපට සහය දක්වුවේ නැහැ. අපව හිගමනට අදින්න සම්බාධක පැනවීම ආරම්භ කරලා තිබුණා.
අපගේ මාඑ ගැනීම නතර කරලා, ඇගඑම් වලට බදු සහන ඉවත් කරලා, සම්බාදක වල පළමු පියවර තියලා තිබුණේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජපන් ජයිකා බැංකුව, මේ සියල්ල 2013, 2014 වනවිට අපට ආධාර දීම නැවැත්තුවා. අප ලෝකයේ තනිවුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාව පිළිබද ඡන්ද විමසීම් තැබුවා. ලෝකය බෙදුණා. ජගත් මහා සමුඑව බෙදුණා. අපි ඒ හැම ඡන්දයකින් පැරදුණා. අපිට ලැබුණේ සුඑ ඡන්ද සංඛ්‍යාවක්. එදා මැතිවරණ වේදිකාවල කියැවුණේ මම දිනුවොත් මේ රට ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනියන බව. විදුලි පුටුව, විදේශ විනිසුරුවරුන්, යුධ අධිකරණ ගැන තමයි එදා වේදිකාවල කියැවුණේ. අද ඒවා කතාකරනවාද. ඒ පරිච්ඡේදය මම වහලා දැම්මා කියලා මම පැහැදිළිව කියනවා.
අපිට කියනවා රණවිරු දඩයම ගැන. මම ජනාධිපතිධුරයට පත්වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධාන රටවල් අපේ ත‍්‍රිවිධ හමුදාව පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරලා තිබුණා. යුද්ධය දිනපු ශ්‍රේෂ්ඨ හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා වුණා කියලා හිරේ දාලා වරප‍්‍රසාද අහිමි කරලා මහරණවිරුවා දඩයම කළේ කවුද කියලා මම අහනවා. සැබැ රණවිරුවන් කවුද කියලා අපි හදුනාගත යුතු වෙනවා. මුඑ ලෝකයේම පිළිගැනීමකට ලක්නොවූ අපේ හමුදව ගැන මම ලෝකයටම කිව්වා. මම ආණ්ඩුවක් හැදුවා. ප‍්‍රධාන පක්ෂ දෙකම එකට එකතු කළා. ජනතාවගේ නිදහස මම සහතික කළා. එදා මාධ්‍යවේදීන් රටහැර ගියා මාධ්‍යවේදීන් හා ක‍්‍රීඩකයින් මරා දැම්මා. තමුන්නාන්සේලා දුකරථනයෙන් නිදහසේ කතාකළේ නැහැ. රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්, ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇමතිමැතිවරුන් නිදහසේ කතාකළේ නැහැ තමන්ගේ දුරකථනයෙන්. ඒ කාලයේ දුරකථන ටැප් කළේ නැහැ කියලා කියන්න පුඑවන්ද එහෙම නැහැ කියලා කෙනෙක් කියනවා නම් හෙට අනිද්දා ඉදිරිපත් වෙන්න මම කියනවා ඒ කාලයේ ටෙලිෆොන් ටැප් කරන්න ගෙනාපු හොර මැෂින් මගේ ජයග‍්‍රහණයත් සමග ඉවත් කර දැම්මේ මමයි.
මම පොදු අපේක්ෂකයා විදියට ඡන්දයට ඉදිරිපත් වුණාට පසුව කොළඹ විජේරාමේ ගේ වටේට තාක්ෂණික උපකරණ ගස්වල එල්ලූවා. මගේ ගේ ඉදිරියේ මහ පාරේ හැමවෙලේම බස් එකක් නතර කරලා තිබුණා. මම ගෙදර කතා කරන ඒවා එයාලා තාක්ෂණික උපකරණ මගින් පටිගත කළා. ඒ දේවල් තමයි එදා සිදුවුණේ. මේ රටේ ඒ තිබුණ තත්වයන් සමග රට යහපත් කරන්න මම ලෝක නායකයින්ට පොරොන්දු වුණා. මේ රට හොද රටක් විදියට හදනවා අපට කරදර කරන්න එපා කියලා. මම කොමිෂන් සභා 09 ක් අලූතෙන් පිහිටෙව්වා. ඒවා ඉස්සර තිබුණ නිකම් බෝඞ් කෑලි වගේ නෙමේ. මම ජනාධිපති වෙන්න කලින් මේ රටේ අග‍්‍රවිනිශ්චයකාරතුමා පත්කළේ රටේ පොලිස්පති පත්කළේ කොමිෂන් සභාවල සභාපතිලා පත්කළේ ජනාධිපතිගේ තනි මතයට. මම ඒවා ඔක්කොම ජනාධිපති බලතල එයින් අයින්කළා.
මම ජනාධිපති වෙලත් පාර්ලිමේන්තුවේ මගේ සහෝදර මැතිඇමතිවරුන් පසුපස ගිහින්, පාර්ලිමේන්තු ලොබි එකේ තේ බොන තැන කැන්ටිමේ මැතිඇමතිවරුන්ගේ ගෙවල්වල ගිහින් මම කිව්වා 19 වන සංශෝධනයට අත උස්සන්න විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල මගෙන් අයින් කරන්න ඡන්දය දෙන්න කියලා. 19 වන සංශෝධනයට කලින් මේ රටේ ජනාධිපති කියලා කියන්නේ ඇමරිකාවේ ජනාධිපතිට වඩා රට ඇතුළේ බලතල වැඩි කෙනෙක්. ඒක තමයි ඇත්ත තත්වය. මා මිත‍්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමන් බලයට පත්කරන පළමු ජනාධිපති මැතිවරණයේදී මම තරම් කරගහපු කෙනෙක් ඉන්නවාද කියලා මම අහනවා පක්ෂ මහලේකම්වරයා ලෙසින්. සමහර මැතිඇමතිවරුන් දාලා ගියා එතුමාව. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොරවල් වැහුණා. රහසක් නොවේ හිටපු ජනාධිපතිතුමියත් සහයෝගය දුන්නේ නැහැ. පක්ෂයේ ලේකම් විදියට මැතිවරණය කරට ගත්තේ මං. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මට කතාකළේ මල්ලි කියලා. එතුමා අගමැති වෙනකල් මම කතාකලෙත් අයියේ කියලා. අපි එකට යුද්දේ දිනන්න කටයුතු කළා. යුද ජයග‍්‍රහණය තනි පුද්ගලයෙකුගේ ජයක් නොවේ. දුටුගැමුණු මහ රජුන් එළාර පරාජය කළේ දසමහා යෝධයෝ සමගින්. මහින්ද රාජපක්ෂ මහත්මයාට අපි වගේ දසමහ යෝධයෝ හිටියා යුද කරන්න. මෛත‍්‍රීපාල සිරිසේනලා, ජෝන් සෙනවිරත්නලා, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා ,සුසිල් පේ‍්‍රමජයන්තලා ඇතුඑ සෙන්පතියෝ හිටියා. කර දුන්නා උර දුන්නා. මට එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් 05 පාරක් ගැහුවා. ඒ හැමපාරම ඔවුන් විනාශ වුණා. අහිංසක මිනිසුන් මැරුණා. සමහර ගහන්න ආපු එවුන් අත්අඩංගුවට ගත්තාම සයිනයිඞ් කාළා මැරුණා.
අපි එහෙම බොහොම ලස්සනට රට කළා. හොදට ආණ්ඩු කලා. 2010 මහ මැතිවරණයෙන් පසුව යුද ජයග‍්‍රහණයෙන් පසුව තිබුණ මැතිවරණයෙන් පසුව, අපි ටිකක් ඈත් කරලා වටේ හිටපු බමුණොයි කේවට්ටයොයි එතුමාව මහ රජාණෝ කළා. ඔහු බොහොම සුන්දර මිනිහෙක් ඒ කාලයේ. එතුමාව මහ රජා කළා. අපි ඈත් වුණා. රට වෙනත් පැත්තකට ගියා. යුද්ධයෙන් පසුවත් රටේ අතුරුදන් වීම් මිනිමැරුම්, යුද්ධයෙන් පසුවත් රටේ ජාතිවාදී බෙදීම් ගැටුම් ඔබට මතක ඇති. මම ඒ සමාජය වෙනස් කළා. මම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස සහතික කළා. අද මිනිස් ඝාතන නැහැ. අද අතුරුදන්වීම් නැහැ. අද මාධ්‍ය ආයතන ගිනිගන්නේ නැහැ. අද මාධ්‍යවේදීන් රටහැර දාලා යන්නේ නැහැ. අද කොච්චර දේවල් නම් කියන්න තියෙනවාද අද අපේ හමුදාව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට මුඑ ලෝකයේම අරගෙන යනවා. ගහගන්න තැන්වලට කැදවනවා සාමය ස්ථාපිත කරන්න. ඒ විදියට මේ රට වෙනස් කළා.
නොයෙක් අසත්‍ය චෝදනා අපට එල්ලකරනවා. අපට කියනවා රට විකුණනවා රට බෙදනවා කියලා. මම මේ ජනාධිපතිධුරයේ ඉන්නකල් මේ රට බෙදන්න කඩන්න මොන යෝජනා ආවත් මම ඒවට ඉඩ දෙන්නේ නැහැ. මේ මගේ මාතෘභූමිය හා ජනතාව වෙනුවෙන් මම මගේ ජීවිතේ පූජා කරලා මේ රට ආරක්ෂා කරනවා කියන එක මම ඔබට ඉතාම පැහැදිළිවම කියන්නට ඕන.
කවුද රට වික්කේ යුද්ධය දිනපු අපේ හමුදාවට කෝ අද මූලස්ථානයක්. ඔබ කොළඹ ගියාම ගෝල්ෆේස් එක පැත්තේ ඇවිදිනවා. අද එතැන තිබෙන්නේ ෂැංග‍්‍රීලා හෝටලය. එදා යුද හමුදා මූලස්ථානය එතැන තිබුණා. යුද හමුදා මූලස්ථානය විනාශ කළා. අපි නෙමේ කළේ. අපිට කලින් මේ වගකීමේ හිටපු අය කළේ. අක්කර 06 ක භූමියක් සමග. අපේ හමුදාවට තිබුණ හමුදා මූලස්ථානය කඩලා දැන් පුද්ගලික ගොඩනැගිලි වල තැන් තැන් වල මාසයකට කුලිය ගෙවනවා දසලක්ෂ හතළිස් තුනක මුදලක්. අවුරුද්දකට මිලියන 500 යි. අද හමුදාපතිට ඉන්න තැනක් නැහැ. හමුදා ප‍්‍රධානීන්ට ඉන්න තැනක් නැහැ. අපිට හමුදා මූලස්ථානයක් නැහැ. අක්කර 06 ක් ෂැංග‍්‍රීලා එකට දුන්නේ හමුදා මූලස්ථානය කුඩුකරලා. හමුදාව අහිකුන්ඨකයෝ වගේ තැන් තැන් වලට දාලා. ශ‍්‍රී ලංකා හමුදාව ගෞරවනීය හමුදාවක්. අක්කර 06 ක් සින්නක්කරව දුන්නේ මමද පෝට් සිටි කොළඹ වරාය නගරය අක්කර 240 යි. ඒක චීන පෝට් සිටි සමාගමට සින්නක්කරව දෙන්න කවුද ලිව්වේ කියලා මම අහනවා.
අපේ හාමුදුරුවනේ අපට මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබුණා. අපි කතාකරන්නේ පණ්ඩුකාභය රජු දුටුගැමුණු රජු විජයබාහු රජු පරාක‍්‍රමබාහු රජු 06 වන පැරකුම් මහ රජු තෙක් අපි මහත් අභිමානයෙන් කතාකරනවා පෙර රජ දවස මේ රටේ ඉතිහාසයේ කිසිම රජෙක් කිසිම නායකයෙක් 505 සිට 948 තෙක් මේ රට විදේශීය ආක‍්‍රමණිකයන්ට යටත් වෙලා හිටියත් කිසිම රජකෙනෙක් මේ රටේ එක බිම් අගලක් සින්නක්කර දීලා නැහැ. භූමිය වෙනත් රටවල් වලට සින්නක්කරව දුන්නේ අපි නෙමෙයි එයාලයි. මම ජනාධිපති වුණාම පෝට් සිටි ගිවිසුම දෙවැනි අත්සන සදහා කැබිනට් එකට ආවා. ජෝන් සෙනවිරත්න මැතිතුමා කැබිනට් එකේ හිටියා. ඒ තිබුණ ගිවිසුම අපේ අනෙක් හාදයෝ ඒ විදියටම අරගෙන ආවා. මම කිව්වා මම අත්සන් කරන්නේ නැහැ. මම කිව්වා රටේ බිම් අගලක් සින්නක්කරව දෙන්න ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා. මම කිව්වා ගිවිසුම වෙනස් කරන්න කියලා. මම 2015 චීනයට ගිහින් ජනාධිපතිතුමාට කිව්වා මගේ රටේ මේ භූමිය සින්නක්කරව දෙන්න බැහැ අපි වෙනත් විදියකට මේක කරනවා නම් අපි කැමති කියලා. ඒ විදියට අපි ඒ ගිවිසුම වෙනස් කළා.
මේ ආකාරයෙන් අපි කටයුතු කළා. රණවිරුවන් බේරගත්තා. ආර්ථික අර්බුදයෙන් බේරගත්තා. ජාත්‍යන්තරයෙන් බේරගත්තා. භූමිය බේරගත්තා. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපි ඔක්කොම එකට රැස්වුණා. ඒ වෙලාවේ කට්ටියක් ඉල්ලීමක් කළා ආණ්ඩුවට යන අය සහ ආණ්ඩුවත් සමග ඉන්නේ නැති අයට විපක්ෂය විදියට ඉන්න දෙමු කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අපේ 96 දෙනාගේ රුස්වීමේදි. මම කිව්වා ඔව් කැමති කියලා. කැමති අය විතරක් ආණ්ඩුවට එකතු වෙන්න අකැමතිනම් ඒ ඉල්ලීමට ඉඩ දීලා පාර්ලිමේන්තුවේ විපක්ෂය විදියට ඉන්න කියලා. ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා. ඕන තරම් ආණ්ඩුව විවේචනය කරන්න. අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට වැඩ කරමු. මොකද වුණේ ටික කාලයක් යනකොට මගේ මිත‍්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා දන්නෙත් නැහැ යට ඉන්න ගෝලයෝ ටික අලූත් පක්ෂයක් හැදුවා. අපිට කියනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදනවා නම් එකට එකතු වෙනවා කියලා. මම එයාලට කියනවා 2015 අගෝස්තු මැතිවරණයේදී ජයග‍්‍රහණයයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේ මන්ත‍්‍රීවරු 96 දෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නවා නම් මම ලෑස්තියි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න. ඔය දේශපාලන කුණු ගොඩ ඔය වසංගතය ජී.එල් පීරිස්ගේ කුණු කාණුව දාලා එන්න. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට ලෑස්තියි. හෙට උදේ එන්න අපේ ගෙදරට. 96 එකට හිටගන්න මාත් එක්ක. 96 එකට හිටගන්න මම ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්. මගේ ඇගේ තියෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ. මගේ ඇගේ තියෙන්නේ දුෂණයට වංචාවට නාස්තියට පවුල්වාදයට ඒකාධිපතිත්වයට විරුද්ධ ලේ.
අද මහ බැංකු බැ`දුම්කර කොමිෂන් වාර්තාව ගැන වේදිකාවල්වල හැමකෙනෙක්ම කතා කරනවා. ජී.එල්. පීරිස්ගේ පක්ෂයේ කට්ටියත් උඩ පැන පැන කතා කරනවා. හැබැයි ඒ ගොල්ලෝ දන්නේ නැහැ මහ බැංකු බැදුම්කර පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු අත්සන් කරපු වාර්තාවේ තියෙන්නේ මේ මහ බැංකුවේ බරපතළ දුෂණ වංචා සිදුවී තිබෙන්නේ 2008 සිට 2016 දක්වා කියා බොහෝම පැහැදිලිව සදහන් කරලා තියෙනවා. ඒ එක්කම මම පත්කළ අනෙක් කොමිසම බරපතළ වංචා දුෂණ කොමිසම මේ වාර්තා දෙකම ඉල්ලලා කෑගැහුවා. දෙන්න දෙන්න ජනාධිපති අතේ තියාගෙන ඉන්නවා ඕක හංගගෙන ඉන්න එපා කියලා. මමත් දුන්නා පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. දෙකම ඇරියා. කෝ අර කෑගහසු මින්සසු. සද්ද නැහැ. පොත වැහුවා. දෙගොල්ලෝ කතා වෙලා පොත වහගත්තා. මොකද විවාදේ ගියානම් දන්නවා දොගොල්ලන්ගේම ඇගේ තිබෙන රෙදි බුරුල් වෙනවා කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම පැහැදිලිව කිව්වා විවාදයක් තියන්න කියලා. නමුත් පක්ෂ නායක රැස්වීමේ වැඩි බලය තියෙන්නේ ඔය වාර්තා දෙකට අයත් පක්ෂවලට. අපේ ඉන්නේ පාර්ලිමේන්තුවේ 41 යි. අනිත් හැමෝම කිව්වා මේක වහමු කියලා. විවාද එපා කියලා. දුෂණය වංචාව නාස්තිය ඒ නිසායි තමුන්නාන්සේලාට ඊයේ පෙරේදාත් කිව්වේ, මම 2014 නොවැම්බර් මාසයේ 21 වැනිදා මේ පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තියට දර්ශනයට නැතුව බණ්ඩාරනායක දර්ශනයට නැතුව මේ රට ඒකාධිපතීත්වය කරා යන විට මිනිස් ඝාතන අතුරුදහන්වීම් ඒ සියල්ල සමග තිබුණු කාලයක මම ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත්වූ වෙලාවේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මට ඇගිල්ල දික්කරලා කිව්වා ඇයි තමුසේ ඔහොම අපේ පක්ෂයට කරන්නේ කියලා. අපේ රත්නපුර මිත‍්‍රයෝ මට ගලූත් ගැහුවානේ. දේශපාලනයේ සදාකාලික සතුරන් ද නැත මිතුරන් ද නැත. එයයි ඇත්ත තත්ත්වය. ඒ නිසා ඕන වෙලාවක වෙන්වෙන්න පුඑවන්. එක් වෙන්න පුඑවන්.
මේ රටේ දුෂණය වංචාව නාස්තිය සමග තිබෙන තත්ත්වයේදී අද ආණ්ඩුව තුළ සිදුවන වැරදි නිසා ඇතිවන බරපතළ දුෂණ මහ බැංකු මංකොල්ල මේවා සමග මම ප‍්‍රකාශ නිකුත් කරා වගේම ක‍්‍රියාත්මක කළා. කොමිසන් සභා වාර්තාව අවසන් වෙනකන් හිටියේ නැහැ. මහ බැංකු කොමිසම සාක්ෂි සටහන් කරගෙන යන කොට පත්තරවල දකින විට ජනතාවගේ ඇතිවූ උද්වේගකාරී තත්ත්වයත් සමග මේ මහා මංකොල්ලය එළිවෙද්දි මමත් ජනතාවගේ පැත්තටයි වැටුණේ. මම ජනතාවගේ පැත්තට වැටිලා කොමිසමට මම පැහැදිලිව ආශිර්වාද කෙරුවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මගේ ආදරණීය පාක්ෂිකයෝ 2014 නොවැම්බර් මාසයේ මට ඇගිල්ල දික්කරලා ඇහුවා වගේ ඇයි උඔ අපිට මෙහෙම කරන්නේ කියලා මාව ජනාධිපති කරන්න ඉදිරියෙන්ම හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝත් පසුගිය මාසවල මගෙන් අහුවා තමුසේව අපි ජනාධිපති කෙරුවා. ඇයි අපිට ඔහොම කරන්නේ කියලා. මම ඒ නිසායි කිව්වේ මම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ට එදා ද්‍රෝහි වුණේ නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා ද්‍රෝහි වුණේ නැහැ. මම අද එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්ට ද්‍රෝහිවෙලා නැහැ. මම එක්සත් ජාතික පක්ෂයට ද්‍රෝහිවෙලා නැහැ. මම ද්‍රෝහි වන්නේ විරුද්ධ වෙන්නේ මම දැඩි ක‍්‍රියාමාර්ග ගන්නේ දුෂණයට වංචාවට හොරකමට නාස්තියට හා පවුල්වාදයටයි. කොතනද ඒ අය ඉන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද එක්සත් ජාතික පක්ෂයේ ද මොන පක්ෂයේ ද මොන වර්ණයේ ද කියලා මට ප‍්‍රශ්නයක් නැහැ. ඒ හැම කෙනෙකුටම දෙන්න තිබෙන ඉහළම දඩුවම් දෙන්න නීතිය ඉස්සරහට ගෙනියන්න හිරේ දාන්න ද අපායට යවන්න ද ඔය ඕන දෙයකට මම ඒ වැඩ කටයුතු අඩුවක් නැතුව ඉටු කරනවා කියන එක මම බොහෝම පැහැදිලිව කියන්නට ඕන.
අපේ හාමුදුරුවනේ මේ රට හොර ගුහාවක් වෙලා. ලෝකයේ උතුම් රට. බෞද්ධ රට. අනන්‍යාගමිකයින්ගෙත් නිදහසත් සමග හින්දු ඉස්ලාම් ක‍්‍රිස්තියානි ජනතාව සමගියෙන් සිටින රට. ඇයි මෙහෙම වුණේ මේ රටට ඇයි මේ තත්ත්වයට මේ රට පත්වුණේ මම ඊයේ ප‍්‍රකාශයක් කළා මාධ්‍ය තුළ ඔබ දකින්න ඇති. අද පත්තරවල තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ තත්ත්වය. විදේශ ණයගත් ඒවා ටි‍්‍රලියන 10 ට වැඩියි. ටි‍්‍රලියන් එකක් කියන්නේ රුපියල් කෝටි දාහක්. මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ පොත්පත්වල තිබෙන්නේ ටි‍්‍රලියන් එකක වත්කම් පමණයි. අනෙක් ටි‍්‍රලියන් නවයේම තොරතුරු නැහැ. රටට කුමක් ද කළේ කුමක්ද වුණේ කියලා පොත්පත්වල සටහන් වෙලා නැහැ. ඒ පසුගිය අවුරුදු දහයක් තිස්සේ. මේ අවුරුදු දෙකේ තුනේ ආණ්ඩුවට ආ මුදල් ආණ්ඩුවේ භාණ්ඩාගාරයට එන මුදල් ආණ්ඩුවෙන් කඩලා පුද්ගලික සමාගම්වලට දීලා. කාටද මේවා කියන්නේ. මම ලබන සුමානේ ස්ථීර වශයෙන්ම ගැසට් කරනවා මිහින් එයා ශ‍්‍රී ලංකන් ගුවන් අලූත් ජනාධිපති කොමිසම. එවිට කාගේ කාගේත් තත්ත්වය හෙළිවෙයි. හාමුදුරුවනේ හොරකමට වංචාවට නාස්තියට දුෂණයට මේ රටේ කොමිෂන් සභා පත්කරනවානම් පදුරක් ගානේ පදුරක් ගානේ පත් කරන්න වෙනවා. කොමිෂන් සභා සියලූ දේට පත් කළාට වැඩක් නැහැ. පත්කළ යුතු දේට පත් කරනවා. පත් කරපු ඒවා වාර්තා අනුව කටයුතු කරනවා. දෙන්න තිබෙන ඉහළම දඩුවම දෙනවා. නැති වූ මුදල් සොයා ගන්නවා. රටක් හදන්න හිරගෙවල් පුරවලා වැඩක් නැහැ. හිර ගෙවල්වලින් රට හදන්න බැහැ. හිර ගෙවල්වලට යන්නේ නැති හිර ගෙවල්වලට යන වැරදි නොකරන මිනිස්සු සිටින රටක් හදන්න ඕන අපි. එයයි අවශ්‍ය වෙන්නේ. වැරදි කළ මිනිහාට දඩුවම් දීම එකක්. ඒ වගේම මිනිසුන් අතින් වැරදි නොවන ලෙස ආයතන සෑදීම නීතිය සෑදීම වැරදි කරන්න තිබෙන ඉඩ ඇසිරීම අනිත් දේ. ඒ නිසායි මම මුඑ රටට කියන්නේ පෙබරවාරි 10 මේ සටන අවසන් වන දවස නොවේ. ඔබ ඡන්දපොළට ගොස් බුලත් කොළයට කතිරය ගසා මේ ජාතික වගකීම ඉෂ්ට කරන්න. නගරසභාව ප‍්‍රාදේශීය සභාව අපේ බලයට ගැනීම පමණක් නොවේ. එතැන් සිට මේ රටේ පැහැදිලි ලෙසම පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සදහා අවශ්‍යය පිරිසිදු දේශපාලනයට සුදුසු පිරිසක් හදන්න මම පෙරමුණ ගන්නවා. එතනින් මම නවතින්නේ නැහැ. මම පුඑල් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරනවා. පක්ෂ භේදයකින් තොරව. මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට බහුශ‍්‍රැතයින්ට පඩිවරුන්ට පරිණතයින්ට මම ආරාධනා කරනවා මහා සංඝ රත්නය ඇතුඑ සියලූ ආගමික පූජකවරුන්ට මම ආරාධනා කරනවා ඉන්දීය නිදහස් අරගලය වගේ මේ රට දූෂණයෙන් වංචාවෙන් තොරව පැහැදිලි පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් කරා ගෙනියන්න සියලූ දෙනාම එක පෙරමුණකට පක්ෂ භේදයකින් තොරව එක්වෙන්න කියලා 10 වැනිදා හදන පුඑල් ජාතික ව්‍යාපාරයට එකතු වෙන්න කියා මම ඔබ සියලූ දෙනාට කියනවා.
අපි ගෙනයන මේ වැඩපිළිවෙළ තුළ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් සාදාගත යුතුයි. අද තමුන්නාන්සේලාට මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ලැබෙන ප‍්‍රතිඵලය කොට්ඨාසයට මන්ත‍්‍රීවරයෙක්. ගමට මන්ත‍්‍රීවරයෙක්. මේ තත්ත්වය ඇති කර ගැනීමට අපි සටනක් කෙරුවා. මේක නැති කරන්න අපිත් එක්ක කට්ටිය සටන් කළා. ආණ්ඩු පක්ෂයේම කට්ටිය. අනෙක් පාර්ශ්වය. විපක්ෂය. ඔය කෑ ගහන ජී.එල්. පීරිස් මහත්මයාගේ කට්ටිය. මේ හැමෝම කිව්වා කළින් තිබුණු මනාප ක‍්‍රමයට යමු කියලා. කොට්ඨාස එපා. අපි අවුරුදු එකහමාරක් පාර්ලිමේන්තුව ඇතුළේ ඇමති මණ්ඩලය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම කිව්වා බැහැ කොට්ඨාස ඡුන්ද ක‍්‍රමයම ඕන කියලා. ඇයි ඒ මේ රටේ දේශපාලනය දුෂිත වුණේ. දූෂිත දේශපාලනඥයින් ඇති වුණේ. මනාප ඡන්ද ක‍්‍රමය නිසයි.
මේ රටේ මොනතරම් අවංක නායකයෝ හිටියාද දේශපාලනය උගන්වපු. ඩි.එස්. සේනානායක එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ඩඞ්ලි සේනානායක මැතිතුමා මොනතරම් අවංක, නිහතමානි, මිනිස්සුන්ට ආදරය කරපු මිනිස්සුද. තමන්ගේ වත්කම් දේපළ සියල්ල ඒ මිනිස්සු නැති කර ගත්තා. පාරම්පාරික ධනය, ඉඩකඩම්, වතුපිටි නැති කරගත්තා. අපි පුංචි කාලේ ඒ නායකයෝ දිහා බැලූවේ දෙවිවරු දිහා බලනවා වගේ. අද දේශපාලනඥයාව තිත්තයි ජනතාවට. ප‍්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ හොරකම, වංචාව, දුෂණය නාස්තිය ප‍්‍රාදේශීය සභාවට ආපු තැන සිටම බලන්නේ කීයක් හරි හොයාගන්න. මේ රටේ 50% ක තත්ත්වය එයයි. 50% ක් ඉතාම හොදින් ඉන්නවා. හැම කෙනෙකුටම නෙවෙයි මම කියන්නේ. අද දේශපාලන දූෂිත වූ නිසා එතනින් පහළට මෙය ගලා ගියා. ඒ තත්ත්වය තුළ රට විනාශ වුණා. ආර්ථිකය කඩා හැලූණා. රට ඉදිරියට යෑමට තිබුණු තත්ත්වය නැති වුණා. තමුන්නාන්සේලා ලෝකයේ රට රටවල් වල ගිහිල්ලා ලෝකය අන්තර්ජාලයෙන් දැකලා රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් දැකලා අහලා ඔබ කියනවා අර රට විදියට ඇයි මේ රට හදන්න බැරි. කොච්චර ලස්සනද ඒ රට ඇයි ඒවගේ අපේ රට හදාගන්න බැරි. මේ රටේ මොනවාද අඩු මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයින්, ප`ඩිවරුන්, බහුශ‍්‍රැතයින්, මානවවාදීන් සිටිනවා. ඔවුන් ලෝකයේ රටවල සේවය කරනවා. මේ රට තුළ බොහෝ පිරිසක් සේවය කරනවා. මේ රටට ස්වාභාවික සම්පත්වලින් මොනවාද අඩු ලංකාවට ආ සිංගප්පූරු අගමැතිතුමා, ඉන්දුනිසියාවේ ජනාධිපතිතුමා දෙදෙනාම මගෙන් ඇහුවා මෙච්චර ලස්සන රටක් තව ඉස්සරහට ගෙනියන්න පුඑවන් නේද කියලා. මේ රටේ සියල්ල තිබුණත් මේ රට ගොඩගන්න බැරි දුෂිත දේශපාලනය නිසා. දේශපාලනය ඇවිල්ලා කරන බරපතළ විනාශකාරී තත්ත්වය නිසා. දේශපාලනය ඇවිල්ලා පුටුවෙන් බහින්නේ නැතුව ව්‍යවස්ථාව වෙනස් කරගන්නා නිසා. පුටුව අත්හරින්න ලෑස්ති නැති නිසා. මේ රටේ මේ තත්ත්වය ඇති වුණු බව ඔබ දන්නවා. මෙය පසුගිය අවුරුදු විසිපහක්, තිහක් තිස්සේ සිදුවූ දෙයක්.
1978 සිට රටේ පත්වූ ජනාධිපතිවරු 1978 ව්‍යවස්ථාවෙන් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඉදලා මම හයවැනි ජනාධිපති. අනිත් පස් දෙනාගේම කාලේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථව සංශෝධනය කළා 18 වතාවක්. 18 වතාවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කෙරුවේ ජනාධිපතිවරයාගේ බලතළ වැඩි කිරීමටයි. ඒ අතරට අනපනත් 2/3 න් සම්මත කර ගත්තා. මම ඒ සියල්ල කනපිට කැරකෙව්වා. ඒ බලතළ මම විසි කෙරුවා. ඒ අසීමිත රාජාණ්ඩුක‍්‍රමයක බලතළ පාර්ලිමේන්තුවට දුන්නා. මේ රට නිවැරදි ක‍්‍රමයක යා යුතු වෙනවා. ආර්ථික ප‍්‍රශ්න තිබෙනවා රටේ. ජීවන වියදම් ප‍්‍රශ්න තිබෙනවා. ඒ නිසායි මම පැහැදිලිව කිව්වේ, මම මාස තුනකට පෙර පිහිටවූ ජාතික ආර්ථික සභාව ඔස්සේ ජනතාවගේ ජීවන වියදම අඩුකොට දේශීය ආර්ථිකය, දේශීය කර්මාන්ත, අපනයන වෙළෙදාම වර්ධනය සදහා කටයුතු කොට ඉදිරියේදී අපේ පහළට වැටී ඇති ආර්ථිකය ගොඩනැගීම සදහා රට ගොඩනැගීම සදහා ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.
රත්නපුර දිස්ත‍්‍රික්කය වැවිලි ආර්ථිකය, මැණික් කර්මාන්තය සමගයි තිබෙන්නේ. මම රත්නපුරයට මීට පෙර පැමිණි අවස්ථාවන්වලදීත් කියා තිබෙනවා, පරිසරය රැකගන්න ඕන. පරිසරය සංරක්ෂණය කරන්න ඕන. මැණික් කර්මාන්තයට අපි ඉඩ දෙන්න ඕන. මැණික් කර්මානතය අපි වැඩි දියුණු කරන්න ඕන. ඒ සියල්ල කළ යුත්තේ පරිසරය රැකගනිමිනුයි. අපිට අවුරුදු දෙකක් අපේ රටේ එක පැත්තක නියගය. රත්නපුරය, කඑතර, කෑගල්ල, ගාල්ල දිස්ත‍්‍රික්කවල අපිට වරින් වර ගංවතුර තත්ත්වයක් ඇති වුණා. අනුරාධපුරය, පොළොන්නරුව, උතුරු නැගෙනහිර නියගය. ඒ තත්ත්වය සමග අපි කොහොමද මේ රට ගොඩගන්නේ. ඉන්දියාවේ ලක්ෂ ගාණකට බොන්න වතුර නැහැ. ඇමෙරිකාවේ මිනිස්සු සීතලට මිය යනවා. ඉන්දුනිසියාවේ ජනාධිපතිතුමාගෙන් පෙරේදා ආ වෙලාවේ කතා කරන විට මම ඇහුවා, අපේ රටේ නියගය, ගංවතුර තිබෙනවා එහේ කොහොමද කියලා. අපේ තත්ත්වයත් මේකමයි කිව්වා. ලෝකයේ කාලගුණික, දේශගුණික වෙනස්වීම් ගහ - කොළ, ඇළ - දොළ, ගංගාවල් විනාශ කරලා. මහා පර්වත කපලා, විධිමත්භාවයක් නොමැතිව වැලි ගොඩදාලා, පස්කදු කපලා, කාර්මිකකරණය සමග මහා කොන්ක‍්‍රීට් නගර බිහිවෙලා මේවායේ ප‍්‍රතිඵලයි අපි අත්විදින්නේ. රත්නපුර ජනතාවට විශේෂයෙන්ම සදහන් කරනවා මේ දිස්ත‍්‍රික්කයේ වැවිලි ආර්ථිකය, කෘෂි ආර්ථිකය ශක්තිමක් කළ යුතුයි වගේම මැණික් කර්මාන්තය සදහා දිය හැකි සියලූ පහසුකම් ලබා දෙනවා. තමුන්නාන්සේලාගේ සියලූ කටයුතු දියුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරනවා. යම් යම් අඩුපාඩුකම් තිබෙනවා නම් ඒ සියල්ල මම නිවැරදි කරනවා. මැණික් ව්‍යාපාරික මහත්වරුත් ඒවායේ සේවය කරන අයත් පරිසරය ආරක්ෂා කරගෙන එම කටයුතු කරන්න කියා මම ඉල්ලා සිටිනවා. තමුන්නාන්සේලා ජීවත්වන රත්නපුරය සදාකාලිකවම තියෙන්නට ඕන. තව අවුරුදු විසිපහක්, තිහක්, පනහක් යන විට මේ නගර නායේ ගොස් ගංවතුර ගලා මේ දිස්ත‍්‍රික්කය විනාශ වුණොත් තමුන්නාන්සේලාගේ අනාගත පරපුර හෙට උපදින දරුවන්ට රත්නපුරයක් නැතුව යනවා. ඒ නිසා අපි සිතිය යුතුයි පරිසරය ආරක්ෂා කරගෙන මේ කර්මාන්ත කිරීමට. පරිසරය ආරක්ෂා කරගෙන ඔබේ මැණික් කර්මාන්තය දියුණුව සදහා ගත හැකි සෑම පියවරක්ම ඔබ වෙනුවෙන් මම ගන්නවා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මට භාර දුන්නේ මම ජනාධිපතිවී දවස් 11 පසුව. මට පක්ෂයේ නායකයෝ ආරාධනා කරලා පක්ෂය මට භාර දුන්නා. මගේ මිත‍්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා චමල් රාජපක්ෂ මැතිතුමාගේ නිවසට මට එන්න කියා අපි තුන් දෙනා හමුවුණා. ඒ වෙලාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 35, 40 ක් පමණ එහි සිටියා. මගෙන් ඇහුවා පක්ෂය භාර ගන්න කැමතිද කියලා. මම කිව්වා, භාර දෙනවානම් මම භාර ගන්නම් කියලා. මොකද මගේ ඇගේ තිබෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය. මගෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා ඇහුවා, අලූත් නිලධාරි මණ්ඩලයක් තෝරනවාද? මම කිව්වා පක්ෂය මට භාර දෙනවානම් අලූත් නිලධාරී මණ්ඩලයක් තෝරන බව. පක්ෂය මට භාර දුන්නා. 2015 පක්ෂයේ සංවත්සර තිබුණේ පොළොන්නරුවේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාත් පොළොන්නරුවට ඇවිත් අපි දෙන්නා එකට වාඩිවෙලා සංවත්සර උත්සවය ඉතාමත් සාර්ථකව සිදු කළා. එතුමා දන්නේ නැතුව යටින් සිටින පිරිසක් ජී.එල්. පීර්සි මහත්මයාගේ පක්ෂය හදා ගත්තා. 2015 පක්ෂයේ තිබුණු තැනට වැඩිය මම භාරගත්තේ පරාදවූ පක්ෂයක්. ඔබ දන්නවා. ජනාධිපති ඡන්දයෙන් පරාදයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාදයි. අවුරුදු දෙකක් ඡන්දයට යන්න තිබියදී හිටපු ජනාධිපතිතුමා ඡන්දයකට යෑම තුළ පේනවා බැරි නිසයි ගියේ කියලා. පරාද වූ පක්ෂයක් මට භාර දුන්නා. ආණ්ඩුව කරනවා වගේම රට කරනවා වගේම පක්ෂය ශක්තිමත් කරන්න පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරන්න පක්ෂයේ ක‍්‍රියාකාරිත්වය වැඩි කරන්න පක්ෂයේ බලය මධ්‍යගත කරන්න පක්ෂයේ ව්‍යවස්ථාව පවා වෙනස් කළා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා වගේම. අපි ඉතා පැහැදිලිව අවශ්‍ය වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළා. 2015 ට වඩා 2016 දී පක්ෂය ඉහළට ආවා. සංවත්සර රැුස්වීම්වල, මැයි රැළිවල. 2016 ට වඩා 2017 දී ඉහළට ආවා පක්ෂ සංවත්සරයේ සහ මැයි රැළිවලදී. මේ සැරේ අපි ප‍්‍රාද්ශීය සභා ඡන්දෙට නාම යෝජනා දෙන විට එදා තිබුණු තැන නෙවෙයි අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ. අපි පෙබරවාරි 10 වැනිදා මුඑ රටම දිනනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය. අත ලකුණ බුලත් කොළේ දීප ව්‍යාප්තව ජයග‍්‍රහණය කරනවා. ලංකාවේ පළාත් පලාන ආයතන 442 ක් තිබෙනවා. අපි 339 ට තරගකරනවා. ලංකාවේ පළාත් පාලන ආයතන 442 න් 339 කට තරග කරන්නේ අපි විතරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විතරයි. අනිත් හැමෝම සිටින්නේ ඊට පහළ බව මතක් කරන්නට ඕන. දිස්ත‍්‍රික් නායකයින්ගේ සංවිධායකවරුන්ගේ කැමැත්ත අනුව සමහර දිස්ත‍්‍රික්කවල අපි අත ලකුණෙන් තරග කරනවා. පොළොන්නරුව අත ලකුණින් තරග කරන්නේ. ජෝන් සෙනෙවිරත්න මැතිතුමාලා බුලත් කොළයෙන්. සන්ධාන ගතවූ තොන්ඩමන් මහත්මයා කිව්වා අපේ සන්ධාන ගිවිසුම් අත්සන් කරනවා කුකුළා ලකුණික් තරග කරනවා කියලා. නැගෙනහිර අතාවුල්ල මහත්මයා කිව්වා, තරග කරන්න එයාට දෙන්න අශ්වයාගෙන් කියා. අපි ගිවිසුම අතසන් කෙරුවා. අපි තරග කරන්නේ නැහැ. ඔහුට දුන්නා. උතුරේ යාපනයේ කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂට මීට පෙර තරග කරලා නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පළවැනි වතාවට මුඑ උතුරම තරග කරන්නේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් බව තමුන්නාන්සේලා අමතක කරන්න එපා. මේ මැතිවරණ ප‍්‍රතිඵලය බොහෝම පැහැදිලියි. අපි ජයග‍්‍රහණය කරනවා. නොයෙකුත් කතන්දර විශ්වාස කරන්න එපා. සත්‍යවාදි බව, යුක්තිය, සාධාරණත්වය, ඇත්ත නිවැරදි තැන ජනතාව තෝරා ගන්නවා. ජනතාව දන්නවා කවුද වැරදිකාරයෝ කියා. කවුද වැරදි කරන අය. නිවැරදි තැන කොතනද කියලා මේ වන විට රටම දැනගෙන තිබෙනවා.
සියලූ අපේක්ෂකයින්, සංවිධායකයින් මැති ඇමතිතුමාලා සියලූ දෙනා එකතුවී ඉදිරි දින 10 තුළ ගෙයක් ගානේ යන්න. ජනතාවට කරුණු කියන්න. පෙබරවාරි 10 වැනිදා වන විට අද තිබෙන ජයග‍්‍රහණය විශිෂ්ට ජයග‍්‍රහණයක් කර ගන්න අපි සියලූ දෙනා කැපවෙමු. ජයග‍්‍රහණය ස්ථිරයි. ඔබ සියලූ දෙනාටම ජයවේවා. රත්නපුර ජනතාවට ජය වේවා. තෙරුවන් සරණයි
Lanka Newsweek © 2026